මාතර තාරකා කොටුව
මාතර තාරකා කොටුව, ශ්‍රී ලංකාවේ මාතර නගරයෙහි, දොරටුවේ සිට මාතර කොටුවට ආසන්න වශයෙන් මීටර් 350 ක් (අඩි 1,150) දුරින් නැගෙනහිර නිල්වලා ගං ඉවුරේ පිහිටා ඇති කොටුවකි. 1765 වර්ෂයෙහි ලන්දේසීන් විසින් ඉදිකර ඇති මෙම කොටුව මුලින් හඳුන්වා ඇත්තේ “ර’ ඩූට් වන් එක්” (Redoute Van Eck) යන නමිනි. ඉතිහාසයවර්ෂ 1640 වන විට ලන්දේසීන් මාතර ප්‍රධාන බල කොටුව ඉදි කර තිබූ නමුත් එය රට තුලින් පැමිණෙන ප්‍රහාර වලින් අවදානමකට ලක්විය හැකි බව සොයා ගන්නා ලදී. වර්ෂ 1762 දී මහනුවර රාජධානියේ පිටු බලය රැගත් සිංහල හමුදා කොටුවට පහර දී එහි බලය අත්පත් කර ගත්හ.[1] 1763 හිදී ලන්දේසීන් කොටුවෙහි පාලනය නැවත ලබා ගත් අතර එම වර්ෂයෙහිදී ගංඟාවෙන් බිහි වන ප්‍රහාර වලින් ප්‍රධාන කොටුව රැක ගැනීම සඳහා නැගෙනහිර නිල්වලා ගං ඉවුරෙහි තවත් කුඩා කොටුවක් ඉදිකිරීම ආරම්භ කළහ. මෙම තාරකා කොටුව, සෑම දිශාවකම ප්‍රවේශයන් ආවරණය කිරීමට විශාල කාලතුවක්කු 12 ක් සඳහා අවකාශය සපයන කොන් හයේ තරුවක අසමසම හැඩයකින් ඉදි කර ඇත. ප්‍රකාර බෑවුම හෙවත් පිටත බිත්තිය මීටර් 7.5 (අඩි 25) පමණ පළල අතර මීටර් 6ක් (අඩි 20) පළල හා මීටර් 3.1 ක් (අඩි 10) ගැඹුරු දිය අගලකින් වට වී ඇත. කොටුවේ ප්‍රාකාර බිත්ති ග්රැනයිට් පාෂාණ සහ කොරල් වලින් ඉදිකර ඇති අතර අඩි 14 ක් (මීටර් 4.3) පළල වේ. ප්‍රධාන බල කොටුවෙන් ආධාර ගෙන ශක්තිමත් වීමට පෙර, ප්‍රහාරයක් දරා ගැනීමට අවශ්‍ය කුඩා ආරක්ෂක සේනාවක්, ආහාර සැපයුම් හා ප්‍රමාණවත් තරම් උණ්ඩ රඳවා තබා ගැනීමට මෙම කොටුව ඉදිකර ඇත. තවද කොටුව තුල සිර මැඳිරි 2 ක් හා එහි මධ්‍යයේ ජලය සැපයීමට මීටර් 2.75 (අඩි 9) ක විෂ්කම්බයක් සහිත ලිඳක් ද පැවතින. කාණු පද්ධතිය අභ්‍යන්තර වූ අතර මෝසම් වැසි වලින් එකතු වූ ජලය දිය අගල කරා බැහැර කරන ලදී. ප්‍රධාන දොරටුවට ඉහළින් කොටුවේ ඉදිකළ දිනය (1765), ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ ලාංඡනය සහ ප්‍රාකාර සිංහ රූප දෙකක් පසකින් ගත් ආණ්ඩුකාර ලාංඡනය ඔබ්බවා ඇත. කොරල් වලින් පිරියම් කර ඇති තාරකා කොටුවේ පිවිසුම් දොරටුව “ර’ ඩූට් වන් එක් 1763”ලෙස සරසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාර ලූබර්ට් ජන් බැරෝන් වන් එක් (1719 - 1765) අනුස්මරණය කරමිනි. ගොඩනැගිල්ලේ වහලය මුලින් පොල් අතු වලින් සෙවිලි කර තිබූ අතර පසුව මැටි උළු වලින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙම කොටුව ලන්දේසීන් විසින් ඉදිකළ අවසාන ප්‍රධාන ආරක්ෂක ස්ථම්භය ලෙස සැලකෙන නමුත් එහි ඵලදායීතාව ඔප්පු කිරීමට කිසිදිනෙක අවස්ථාව නොලැබිණි. 1796 දී ශ්‍රී ලංකා භූමිය යටත් කර ගැනීමත් සමග ලන්දේසීන් කොටුව බ්‍රිතාන්‍යන් වෙත භාර දුන්හ. බ්‍රිතාන්‍යන් එය පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කල අතර 1965 සිට, 1975 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අත්කර ගන්නාතුරු එය පුස්තකාලයක් ලෙස භාවිත කරන ලදී.[1] කොටුව පසුව ප්‍රතිසංස්කරණය කර ඇති අතර දැනට මාතර ඉතිහාසය එලි දක්වන කෞතුකාගාරයකට ඉඩ පහසුකම් සපයයි. ගැලරිය
මේවාද බලන්නමූලාශ්ර
|
Portal di Ensiklopedia Dunia