කියා
කියා යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තු පාරාවෝවරයකු වන අක්නාටන්ගේ බිසෝවරුන් අතුරින් අයෙකි. ඇය පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි. අක්නාටන්ගේ පළමු (සහ ප්‍රධාන) රාජකීය භාර්යාව වන නෙෆර්ටිටිට සාපේක්ෂව, ඇගේ කාර්යයන් සහ ධුරයයන් ඓතිහාසික වාර්තාවල විස්තර කොට ඇත්තේ සුළු වශයෙනි. ඇගේ අසාමාන්‍ය නාමය හේතුවෙන් ඇය මුලින් මිටැනියානු කුමරියක වන්නට ඇතැයි යෝජනා වී ඇත.[1] පවතින සාක්ෂි අනුව පෙනීයන්නේ අක්නාටන්ගේ රාජ්‍ය සමයේ මැද කාලයේ ඇය ඔහුට දාව දියණියක බිහි කළ විට, කියා රාජ මාලිගයේ වැදගත් චරිතයක් වන්නට ඇති බවයි.[2][3] ඇගේ සැමියාගේ මරණයට වසර කිහිපයකට පෙර ඇය පිළිබඳ වාර්තා ඉතිහාසයෙන් අතුරුදන් වේ. පෙර වර්ෂවල, ඇය ටූටන්ඛාමූන්ගේ මව යැයි යෝජනා වී තිබුණත්, මෑතක දී අනාවරණය වූ DNA සාක්ෂි අනුව පෙනීයන්නේ එය සිදු විය නොහැක්කක් බවයි. නාමය සහ පදවිකියා යන නාමය ද විවාදයට තුඩු දී ඇති මාතෘකාවකි. මෙම නාමය සම්පූර්ණ නාමයක් නොව "සුරතල්" යෙදුමක් බව ඇතැම්හු පවසති. එය ඇතැම්විට මිටැනි නාමයක් වන "ටඩුක්හිපා" වැනි වදනක කෙටි ස්වරූපයක් වන්නට ඇත. ටඩුක්හිපා යනු ටුෂ්රටා රජුගේ දියණියයි. ටඩුක්හිපා, IIIවන අමෙන්හොටෙප් සමග විවාහ වූයේ ඔහුගේ රාජ්‍ය සමයේ අවසන් කාලයේ ය. අමර්ණ ලිපි අනුව ඇය එකල වැඩිවිය පත් තරුණ කාන්තාවක වූ බව පෙනී යයි.[4] විශේෂයෙන්ම 27 සිට 29 දක්වා වූ අමර්ණ ලිපි අනුව පෙනීයන්නේ ටඩුක්හිලා අක්නාටන්ගේ භාර්යාවක් බවට පත්වූ බවයි. මේ නිසා ඇතැම් ඊජිප්තුවේදීන් යෝජනා කරන්නේ කියා සහ ටඩුක්හිපා යන දෙදෙනාම එක් අයකු බවයි.[2] කෙසේනමුත්, කියා වෙනත් ජාතිකයකු බව හෝ ස්වදේශික ඊජිප්තුවරියක බව සනාථ කෙරෙන කිසිදු සාක්ෂියක් හමු නොවේ.[5] සැබැවින්ම, සිරිල් ඇල්ඩ්‍රඩ් යෝජනා කරන්නේ ඇගේ අසාමාන්‍ය නාමය "වඳුරා" යන්න සඳහා යෙදෙන පුරාතන ඊජිප්තු වදනේ ප්‍රභේදයක් බවයි. ඒ නිසා ඇයට විදේශික සම්භවයක් ඇතැයි පැවසීම නුසුදුසු ය.[6] ශිලා ලේඛනවල කියාහට "ප්‍රියාවිය" සහ "දැඩි සෙනෙහෙවන්තිය" යන පදවි ලබා දී නමුත්, "උරුමකාරිය" හෝ "මහා රාජකීය බිරිඳ" යන පදවි කිසිවිටෙක ලබා දී නැත. මේ අනුව යෝජනා වී ඇත්තේ ඇය රාජකීය ඊජිප්තු රුධිරය දරන්නියක නොවූ බවයි. ඇගේ සම්පූර්ණ පදවි නාමය "ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ, සත්‍යයෙන් දිවි ගෙවන, භූමි ද්විත්වයේ අධිපති, ජීවමාන ආටන්ගේ යහපත් දරු නෙෆර්ඛෙපෙරුරේ වේන්රේගේ අතිශය සෙනෙහෙවන්තිය; ඔහු කියා වෙනුවෙන් සැමදා ජීවත් වේවි." කියාට සම්බන්ධ සියලුම පුරාවස්තු හමුවී ඇත්තේ අක්නාටන්ගේ කෙටිකාලීන අගනුවර වූ අමර්ණවලින් හෝ රජුන්ගේ නිම්නයේ KV55 සොහොන්ගැබෙනි. ඇය පිළිබඳ සෙසු කිසිදු පාරාවෝවරයකුගේ රාජ්‍ය සමයකින් ද තොරතුරු නොලැබේ. කියාගේ දිවිය පිළිබඳ සාක්ෂි1959දී මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ වූ කුඩා සුවඳ විලවුන් බහාලුමකින් ඇගේ නාමය සහ පදවිය සොයාගන්නා තෙක්ම කියා නැමැත්තියක ජීවත් වූයේ ද යන්න හඳුනාගෙන නොතිබිණි. මෙය වසර තිහකට පමණ ප්‍රථම, ඊජිප්තුවේදියකු වූ හොවාඩ් කාටර් විසින් රැගෙන එන ලද්දකි. නමුත් මෙය සොයාගත් ස්ථානය සටහන්ව නැත.[7] බ්‍රිතාන්‍ය ඊජිප්තුවේදීන් වන ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන් මෙසේ ලියා ඇත:
අක්නාටන් සිහ ඔහුගේ පවුල රාජ්‍ය සමයේ මුල් අවුරුදු හතරේ තීබ්ස්හි වාසය කළ අතර, 5වන වර්ෂයේ දී නව අගනුවර අමර්ණහි ස්ථාපනය කරන ලදී. මේ කාලයේ කියා පිළිබඳ සාක්ෂි හුම නොවේ. අමර්ණ වෙත යාමෙන් පසුව පමණක් කියා අක්නාටන්ගේ භාර්යාවක් ලෙස සඳහන් ශිලා ලේඛන හමුවේ. අභිලේඛන විද්‍යාව අනුව කියාගේ නාමය ප්‍රමුඛ වශයෙන් නගරයේ දකුණු අන්තයේ පිහිටි මාරු-ආටන් දෙවොලෙහි දක්නට ලැබෙන බව පැවසේ.[2] මාරු-ආටන්හි ඇති ශිලා ලේඛනවල කියාගේ නාමය විස්ථාපනය කරමින් පසුව අක්නාටන්ගේ වැඩිමහල් දියණිය වූ මෙරිටාටන්ගේ නාමය යොදා ඇත.[2] නගරයේ ආටන් වෙනුවෙන් ඉදිකළ "හිරුමුවාව" හෙවත් පැති-දෙවොල් අතුරින් විශාලතම එක්ක වන පෙර්-ආටන්හි මුලින් කියාගේ නාමය ඇතුළත් වී ඇත. පසුකලෙක මෙම හිරුමුවාවන්හි ඇගේ නාමය තිබූ ස්ථානයේ, මෙරිටාටන්ගේ සහ අක්නාටන්ගේ තෙවන දියණිය වූ අන්ඛෙසෙන්පාටන්ගේ නම් යොදා ඇත.[2] නැවත කැටයම් කළ ඇතැම් ශිලා ලේඛන අනුව, කියාට දියණියක වූ බව පෙනේ. නමුත් ඇගේ නාමය හඳුනාගත නොහැකි වී ඇත.[2][3] මාක් ගැබෝල්ඩි යෝජනා කරන්නේ කියාගේ දියණිය, IIIවන අමෙන්හොටෙප්ගේ සහ ටියේගේ දියණිය යැයි පැවසෙන බෙකෙටාටන් බවයි.[9] කියාගේ ස්මාරක අතුරින් වඩාත් දර්ශනීය ලෙස සැලකෙන්නේ රජුන්ගේ නිම්නයේ KV55 සොහොන්ගැබෙන් හමුවූ මිලාධික, කලාත්මක රන් ආලේපිත දැව මිනී පෙට්ටියයි. මිනීපෙට්ටියේ පාපුවරුව ආටන්වාදී යාඥාවකින් සමන්විත අතර, එය මුලින් කාන්තාවක වෙනුවෙන් නිමැවුණක බව පෙනේ. නමුත් පසුව එය ප්‍රතිශෝධනය කර මිනිසකු වෙනුවෙන් භාවිතයට ගෙන ඇත. ඒ බව මෙහි මුල් දේශකයාගේ ලිංගය වෙනස් කර දැක්වීමට සිදු කර ඇති නොගැළපෙන ව්‍යාකරණ දෝෂවලින් පෙනේ.[10] මිනීපෙට්ටියේ ශෛලිය සහ එහි නිරුපද්‍රිත ලේඛනවල භාෂාව අනුව එය අක්නාටන්ගේ සමයට අයත් බව පෙනේ. මෙහි මුල් අයිතිකරු කියා බව වර්තමාන විද්වතුන්ගේ පිළිගැනීමයි.[11] ටූටන්ඛාමූන්ගේ මැදි මිනීපෙට්ටිය සමග සැසඳිය හැකි තරම් අගනා මෙම මිනීපෙට්ටියේ සමෘද්ධිමත්භාවය[12] අනුව අමර්ණහි කියා දැරූ උසස් පදවිය වටහාගත හැක. බොහෝ ඊජිප්තුවේදීන් ඇගේ ප්‍රමුඛත්වය පැහැදිළි කිරීමට උත්සාහ දරා ඇත. විසිවන සියවසේ සහ විසිඑක්වන සියවසේ මුල්කාලයේ ටූටන්ඛාමූන්ගේ දෙමාපියන් පිළිබඳ පැවැත්වූ නොයෙකුත් සාකච්ඡා අනුව, උපකල්පන ඉදිරිපත් වූයේ ටූටන්ඛාමූන්ගේ මව කියා බවයි. සැබැවින්ම ඇය අක්නාටන්ට දාව පිරිමි උරුමකරුවකු බිහිකළේ නම්, ඇයට වඩාත් අනන්‍ය උසස් නාමයන් හිමිවිය යුතු ය. කෙසේනමුත් සාහි හවාස් සහ කාර්ස්ටන් පුෂ් විසින් ඊජිප්තු රාජකීය මමී පිළිබඳ සිදු කළ ජාන පරීක්ෂාවලින් පෙනීගොස් ඇත්තේ ටූටන්ඛාමූන්ගේ ජීව විද්‍යාත්මක මව IIවන අමෙන්හොටෙප්ගේ සොහොන්ගැබේ මමී කුටියක තිබී සොයාගත් KV35YL හෙවත් "ලාබාල යුවතිය" නැමැති මමියේ හිමිකාරිණිය බවයි.[13] නිගාව හෝ මරණය?අක්නාටන්ගේ අවසන් තුනෙන් එකක කාල පරිච්ඡේදය තුළ කියා ඉතිහාසයෙන් අතුරුදන් වන්නී ය. ස්මාරකවල ඇගේ නාමය සහ රූප මකා දමා එතැන් අක්නාටන්ගේ දියණියන්ගේ රූ සහ නම්වලින් විස්ථාපනය කර ඇත. ඇය පිළිබඳ වාර්තා ඉතිහාසයෙන් අතුරුදන්වන නිශ්චිත දිනය නොදනී. නූතන විද්වතුන් විසින් මෙය අක්නාටන්ගේ වර්ෂය 11 සහ 12[5][8][14] සිට 16 දක්වා[9] අතර කාල සීමාවට අයත් යැයි යෝජනා කර ඇත. ඇගේ නාමය සඳහන් දින නිර්ණය කළ හැකි අවසන් සාක්ෂි අතර, අක්නාටන්ගේ 11වන වර්ෂයට අයත් වයින් බුජම් සටහනක් ද වේ.[5] එම වර්ෂයේ කියාගේ වතු යායෙන් වයින් නිපදවූ බව එහි සඳහන් වේ. ඇය මියගිය, පිටුවහල් කළ හෝ යම් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ පාන්නට ඇති බවට යෝජනා වී ඇතත්, ඊජිප්තුවේදීන් බොහෝවිට අර්ථ කථනය කරන්නේ කියාගේ නාමය මකාදැමීම ඇයව අපකීර්තියට පත් කිරීමේ සංකේතයක් බවයි.[5][8][14] කියාගේ අතුරුදන්වීම හැඟවෙන නොයෙකුත් නිරූපණයන් දක්නට ලැබේ. කියා යනු ටූටන්ඛාමූන්ගේ මව යැයි යෝජනා කරන නිකොලස් රීවස් ලියා ඇත්තේ, "ඊර්ෂ්‍යාකාර නෙෆර්ටිටි විසින් සිදුකළ කුමන්ත්‍රණයක් හේතුවෙන් ඇය අපකීර්තියට පත් වන්නට ඇති බවයි." [15] කියා යනු මිටැනියෙහි රජුගේ දියණිය වූ ටඩුක්හිපා යැයි පවසන මාක් ගැබෝල්ඩි යෝජනා කරන්නේ ඊජිප්තුව සහ මිටැනිය අතර මිත්‍රත්වය පළුදු වීම හේතුවෙන් ඇයව නැවත ඇගේ මව්බිම වෙත යැවුණු බවයි.[9] කියා ඇගේ මරණය වෙනුවෙන් සූදානම් කළ වටිනා අවමංගල භාණ්ඩ ඇගේ භාවිතයට යොදා ගැනුණේ ද යන්න සැකසහිත ය. ඇගේ අතුරුදන් වීම අපකීර්තියක් හෝ පිටුවහල් කිරීමක් නිසා සිදු වූයේ නම්, ඉහත පැනයට පිළිතුර නැත යන්නයි. අනෙක් අතින්, ඇය මියයන විට අක්නාටන් සමග යහපත් ස්ථාවරයක පසුවූයේ නම් ඇගේ තත්ත්වයට උචිත පරිදි ඇයට මිලාධික භූමදානයක් හිමිවනු ඇත. ඉහත දෙවන මතය සත්‍යයක් නම් ඇයට අමර්ණ රාජකීය සොහොන්ගැබේ භූමදානයක් ලබා දී තිබිය යුතු ය. එයට හේතුව අක්නාටන්ගේ පවුලේ සාමාජිකාවන් සඳහා කුටි තුනකින් යුත් කුටි පෙළක් සපයා තිබීමයි.[16] අවම වශයෙන් මෙහි පුද්ලයනි දෙදෙනකු හෝ බොහෝ විට තිදෙනකු භූමදානය කොට තිබී ඇති බව පෙනේ. මේ අතර අක්නාටන්ගේ දියණියක වූ මෙකෙටාටන් ද වේ. එහි සටහන්ව ඇත්තේ මෙකෙටාටන්ගේ නාමය පමණි.[16] සෙසු කුටි දෙකෙහි මුලින් අක්නාටන්, නෙෆර්ටිටි, ඇගේ දියණියන් කිහිප දෙනකු සහ සෙසු පුද්ගලයින් මියගිය තැනැත්තකු වෙනුවෙන් වැළපෙනු නිරූපිත වර්ණ කළ බදාම කැටයම් තිබී ඇත.[16] ඇතැම් ඊජිප්තුවේදීන් යෝජනා කර ඇත්තේ මේ අතරින් වැළපෙන එක් තැනැත්තියකගේ රුව කියාගේ බවයි. නමුත් මේ බව සනාථ කිරීමට විශේෂිත සාක්ෂි හමුවී නැත.[17] බොහෝවිට මෙම ශෝකවන දර්ශනයෙහි නිරූපණය වන්නේ දරුඋපතක දී මියගිය තැනැත්තියක බව විශ්වාස කෙරේ.[18] (නමුත් මෙම මතය මෑතක දී අභියෝගයට ලක්ව ඇත)[16][19] සම්මුතික අර්ථ නිරූපණය අනුව අක්නාටන්ට දාව දරුවකු බිහිකොට කියා මියගිය බව යෝජනා වී ඇතත්, ඒ පිළිබඳ ඍජු-සාක්ෂි හමුවී නොමැත.[17][19] KV35 "ලාබාල යුවතිය" මමියඇතැමුන් යෝජනා කර ඇත්තේ KV35 සොහොන්ගැබෙන් හමුවූ ලාබාල යුවතිය යනුවෙන් හඳන්වන මමිය කියාගේ බවයි. ජොඈන් ෆ්ලෙචර් (මෙම මමිය මතභේදාත්මක ලෙස නෙෆර්ටිටිගේ යැයි ඔහු ප්‍රකාශ කොට තිබේ) අනුව මමිය අසල තිබී නුබියානු-ආරේ හවරියක් හමුවී ඇත. මෙම ශෛලිය ද කියා සමග සම්බන්ධ ය.[20] 2010 පෙබරවාරි මස ප්‍රකාශිත DNA පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව, නිගමනය කර ඇත්තේ ලාබාල යුවතිය මමිය ටූටන්ඛාමූන්ගේ මවගේ බවයි. විකල්ප මතයක් අනුව එය අක්නාටන්ගේ භාර්යාවකගේ බව කියැවේ.[13] එසේම ප්‍රතිඵල අනුව පෙනීයන්නේ ඇය ඇගේ සැමියාගේ පූර්ණ සොයුරියක් බවත්, එම දෙදෙනාම IIIවන අමෙන්හොටෙප් සහ ටියේ රැජිනගේ දරුවන් බවත් ය.[13] මෙම පවුල් සබඳතාව අනුව ලාබාල යුවතිය යනු කියා බවට වූ මතය බැහැර කිරීමට සිදුවේ. එයට හේතුව කිසිදු පුරාවස්තුවක කියාහට "දෙවියන්ගේ දියණිය" යන නාමය ලබා දී නොතිබිණි. එම හේතූන් නිසාම නෙෆර්ටිටිගේ නාමය ද ඉන් ඉවත් කළ හැක.[21] මෙම වාර්තාව මගින් යෝජනා කර ඇත්තේ IIIවන අමෙන්හොටෙප් සමග විවාහ වූයේ යැයි නොපැවසෙන ඔහුගේ බාල දියණියන් වන නෙබෙටාහ් හෝ බෙකෙටාහ් යන දෙදෙනාගෙන් එක් අයකු ලාබාල යුවතිය මමියේ හිමිකාරිණිය විය හැකි බවයි.[21] පින්තූර ගැලරිය
මූලාශ්‍ර
බාහිර සබැඳි![]() කියා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
|
Portal di Ensiklopedia Dunia