ඔකිනාවා දූපත
ඔකිනාවා දිවයින හෝ ඔකිනාවා දූපත (沖縄本島, ඔකිනාවා හොන්තෝ) යනු ජපානයේ ඔකිනාවා දූපත් සහ ර්යුක්යු දූපත් අතරින් විශාලතම දූපත වේ. මෙම දූපතේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1,206.93 ක් වේ. ඔකිනාවා දූපත ජපාන ප්‍රධාන භූමියෙන් කිලෝමීටර 640ක් පමණ දකුණු දෙසින්ද, චීන වෙරළේ සිට එවැනිම දුරකින්ද, තායිවානයේ සිට සැතපුම් 300ක් උතුරින්ද පිහිටා ඇත. මෙම දූපතේ ජනගහනය වැඩිම ප්‍රදේශය වන්නේ නාහා ප්‍රදේශයයි. එය ඔකිනාවා දිස්ත්‍රික්කයේ අගනුවර වන අතර ඔකිනාවා දූපතේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා ඇත. දූපතේ සමස්ථ ජනගහනය මිලියන 1.3ක් පමණ වන අතර එයින් 800,000ක් දෙනා ජීවත් වන්නේ නාහා ප්‍රදේශයේ ය. ඔකිනාවා දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම නගරය ඔකිනාවා වේ. ජපානයේ කඳවුරු ලා සිටින එක්සත් ජනපද හමුදා සේනාන්කයන්ගෙන් වැඩි ප්‍රමාණයක් රැඳී සිටින්නේ ඔකිනාවා දූපතේ ය. එම තත්වය ඔකිනාවාවාසීන්ගේ සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් එල්ල කර තිබේ. ඔකිනාවා දූපත්වාසීන් ලොව වැඩිම ආයු කාලයක් ඇති ජනකොට්ටාශයක් ලෙස සැලකේ. එවැනි තවත් පැසිපික් දූපතක් වන්නේ සාඩීනියාවයි. සාඩීනියාවේ ජීවත් වන දූපත් වාසීන් 100,000 කින් 22 දෙනෙකු වයස අවුරුදු සියය ඉක්මවා ඇති අතර, ඔකිනාවාවාසීන් 100,000 කින් 34 දෙනෙකු වයස අවුරුදු සියය ඉක්මවති. එය ජපන් ප්‍රධාන භූමියේදී මෙන් තුන් ගුණයකටත් වැඩිය. ඉතිහාසය
ඔකිනාවා දූපතේ මුල්ම මිනිස් වාසයන් පිලිබඳ නිවැරදි තොරතුරු නොමැත. ඈත අතීතයේදී ජපානයෙන්, චීනයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මෙම දූපතට මිනිසුන් සංක්‍රමණය වන්නට ඇතැයි සැලකේ. මුල් කාලීන ඔකිනාවාවාසීන් දඩයම් කිරීමේ සහ කුඹල් කර්මාන්තයේ යෙදුනු බවට සාක්ෂි ඇත. පසුව ඔවුන්ගේ වාසස්ථාන වඩාත් මුහුදු වෙරල දෙසට කාලයත් සමග ඇදී යාමෙන් පෙනෙන්නේ ඔවුන් පසුකාලීනව ධීවර කර්මාන්තයට හුරුවූ බවයි. යයෝයි යුගය තුලදී ඔකිනාවා දූපතේ වී වගාකිරීමක් සිදුව නොමැත. එය ඇරඹී ඇත්තේ පසුවය. ඔකිනාවා දූපත තුල තිබී වසර 2500කටත් වඩා පැරණි බෙලි කටු ආයුධ හමුවීමෙන් පෙනී යන්නේ මෙම දූපත තුල ගිනිකොනදිග පැසිෆික් සංස්කෘතියක් තිබූ බවයි. දූපත තුල කෘෂිකර්මාන්තය ආරම්භ වී ඇත්තේ 12 වැනි සියවසේදී පමණය. ඒ වන විට දූපතේ ජනාවාස දූපත මධ්‍යට සංක්‍රමණයවීම යලි ආරම්භ වී තිබේ. මෙම යුගය, ගුසුකු යුගය ලෙස හැඳින්වේ. ඔකිනාවා දූපතටම ආවේනික මාලිගා සහ බලකොටු හැඳින්වීමට මෙම ගුසුකු යන වදන භාවිත වේ. ර්යූක්යූ රාජධානියට අයත් මෙවැනි බලකොටු රැසක් අදටත් ඔකිනාවා දූපත් හි දැකිය හැකි අතර ඒවා යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවටද ඇතුලත්ව ඇත. ඔකිනාවා සහ අනෙකුත් රටවල් අතර පෝසිලෙන් නිෂ්පාදන වෙළඳාම මෙම යුගයේදී ඉතාමත් සරුවට සිදුවී ඇත. එමෙන්ම මෙම කාලයේදී, නැගෙනහිර ආසියානු වෙළඳ කටයුතුවලදී ඔකිනාවා දූපත වැදගත් භාණ්ඩ හුවමාරු ස්ථානයක් බවට පත්ව තිබුණි. ශුන්ටෙන් සහ එයිසෝ යන ර්යූක්යූ රජවරු ඔකිනාවාහි සිටි වැදගත් ආණ්ඩුකාරවරු වූහ. එයිසෝ රජුගේ කාලයේදී, එනම් 1291 දී මොන්ගෝලියාව විසින් ඔකිනාවා දූපත ආක්‍රමණය කිරීමට උත්සහ කලද එය අසාර්ථක විය. නොරෝවරියන් හෙවත් කාන්තා ශින්ටෝ ආගමික පූජකවරියන්ද මෙම යුගයේදී ඔකිනාවා දූපතට සංක්‍රමණය වූහ. 1429 දී ෂෝ හාෂි රජු විසින් එවකට පැවති රාජධානි 3 එක්සේසත් කර නව රාජධානියක් ඔකිනාවා දූපත් හි පිහිටුවන ලදී. එම නව ර්යූක්යූ රාජධානියේ අගනුවර වූයේ ශූරී මාලිගයයි. මෙම රාජධානියේ විදේශ කටයුතු සහ අනෙකුත් සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා වන නිලධාරීන් චීනයෙන් සංක්‍රමණය වූ මින්ග් රාජවංශයේ අය වූහ. 17 වන සියවස වන විට ඔකිනාවා දූපත චීනය සහ ජපානය යන රටවල් දෙකටම බදු ගෙවන දූපතක් බවට පත්විය. ජපානය විසින් ලන්දේසීන් හැරුනුකොට අනෙකුත් යුරෝපීය ජාතීන් සමග වෙළඳ කටයුතු කිරීම අත්හිටවූ පසු භාහිර ලෝකය සමග වෙළඳ කටයුතු සිදුකල ජපාන වරායන් වූයේ ර්යූක්යූ සහ නාගසාකිය පමණි. 1879 වසරේදී ජපානය විසින් ර්යූක්යූ රාජධානියට අයත් ඔකිනාවා දූපත් සමූහයම සිය රටට ඈඳා ගත්තේය. මෙයිජි රජය විසින් ර්යූක්යූ රාජධානිය ඔකිනාවා දිස්ත්‍රික්කය ලෙස පසුව නම් කරන ලදී. ශූරී රාජ පරම්පරාව එමගින් අවසන් විය. දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ සිදුවූ ඔකිනාවා සටන ඔකිනාවා දූපත් හිදී සිදුවූවකි. ඇමරිකානු හමුදා විසින් ඔකිනාවා දූපත් අල්ලාගැනීමට උත්සහ කරනු ලැබූයේ එමගින් ජපානය ආක්‍රමණය කිරීමේ සැලසුම් පහසු වන නිසාය. එම සටන දින 82ක් පැවතිනි. 95,000 කට අධික ජපාන අධිරාජ්‍ය හමුදා සෙබළුන් සහ 12,510 ක් පමණ ඇමරිකානු සෙබළුන් එම සටනෙන් ජීවිතක්ෂයට පත්විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු, ඇමරිකානු හමුදා විසින් ජපානය අත්පත් කරගැනීමත් සමග ඔකිනාවා දූපත් ද ඇමරිකානු හමුදා පාලනයට යටත් විය. ඇමරිකානු ආරක්ෂක අංශ වලට අයත් ගුවන්, නාවික හා පාබල කඳවුරු රැසක් ඒ කාලයේදී ඔකිනාවා දූපත් හි ඉදිවිය. 1972 ජූනි 17 වෙනිදා ඇමරිකානු ආරක්ෂක අංශ විසින් ඔකිනාවා දූපත් ආපසු ජපාන පාලනයට භාරදෙන ලදී. 2010 වසරේ පෙබරවාරි මාසයේ සිදුවූ රිච්ටර් පරිමානයේ අංශක 7.0 ක ප්‍රබලතාවයෙන් යුතු භූකම්පනයක් ඔකිනාවා දූපතට බලපාන ලදී. ආශ්‍රිත
මූලාශ්රඋපහරණ
භාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia